ආණමඩුව ප්‍රාදේශීය සභාව

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ ආරම්භය 1936 දක්වා අතීතයට විහිදී ඇත. එතැන් සිට මේ දක්වා විවිධ පරිවර්තනයන්ට භාජනය වෙමින් පැවති අතර, ආණමඩුව ප්‍රදේශය සඳහා ආණමඩුව ගම්සභාව වශයෙනුත්, පල්ලම ප්‍රදේශය වෙනුවෙන් රාජකුමාර වන්නිපත්තු ගම්සභාව වශයෙනුත්, මහකුඹුක්කඩවල ප්‍රදේශය සඳහා මහකුඹුක්කඩවල ගම් සභාව වශයෙනුත් පැවත ඇති අතර, 1981 වර්ෂයේ සිට 1987 දක්වා පුත්තලම සංවර්ධන සභාවේ උපකාර්යාල 03 ක් වශයෙන් පැවත ඇත. 1981 සිට 1988 දක්වා පුත්තලම සංවර්ධන සභාවේ උපකාර්යාල වශයෙන් පැවති මෙම කාර්යාල ඒකාබද්ධ කොට 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව ආණමඩුව ප්‍රාදේශීය සභාව සංස්ථාපනය වී ඇත. දැනට එහි ප්‍රධාන කාර්යාලය ආණමඩුවේ පිහිටුවා ඇති අතර, එහි උපකාර්යාල වශයෙන් පල්ලම උපකාර්යාලයත්, මහකුඹුක්කඩවල උපකාර්යාලයත් පවතී.

1988 වසරේදී පිහිටුවනු ලැබූප්‍රාදේශීය සභාවේ මුල්ම සභාපති ධූරය ආර්.එම්.ගුණතිලක මහතා හිමිකරගත් අතර, අනතුරුව විමල් මැදකන්ද මහතාද, ඉන්පසුව ගාමිණි වඩිගමංගාව මහතාද, පසුව ආර්.එම්.දයාරත්න මහතාද, නැවත ගාමිණි වඩිගමංගාව මහතාද, නැවත ආර්.එම්.දයාරත්න මහතාද, අනතුරුව 2011 වර්ෂයේදී එච්.එම්.උදාර මධුසංඛ පෙරේරා මහතාද, 2015 මැයි මස 15 වන දින සිට සභා ධූර කාලය අහෝසි වීමෙන් පසු විශේෂ කොමසාරිස් ලෙස සභා ලේකම් ද පාලන කටයුතු සිදුකල අතර 2018-04-19 දින සිට 2023-03-19 දින දක්වා ආර්.එච්.එම්.පි.බි.රාජකරුණා මහතා සභා ධූරයෙහි කටයුතු කරන ලදී. ඉන් පසුව සභා ධූර කාලය අහෝසි වීමත් සමග එච්.ජේ.එම්.එම්.එස්.ජයසුන්දර මහතා මේ වන විට සභා ලේකම් ධූරය හොඹවමින් පාලන කටයුතු සිදු කරනු ලබයි.